මුන් දෙන්නා රෑට කෑම කාලා නින්දට ගියාම මම මේකිගෙ ඇඟට රිංගලා ඒ මිනිහට මේකිව එපා වෙන විදිහට හැසිරුණා

යමක් පිළිබඳ ඇලීම, කැමැත්ත, අයිති කර ගැනීමට සිතීම, ලෝභය, ආශාව ආදිය ඇතිවීම කාම ලෝකයේ ස්වභාවයයි.
එසේම අනුන්ට රිදවීම, තරහව, පළිගැනීම, ද්වේෂයන් කිරීම සඳහා ද මිනිස් සිත දිවයයි.
අනුන්ගේ සැප සම්පත්, ලස්සන, ප්‍රසන්නතාව දුටු විට එය ඉවසා දරාගත නොහැකිව සිත තුළ ඇතිවන ඊර්ෂ්‍යා කිරීම ද මානසික අකුසල සිතුවිල්ලක් වේ.
කෙනෙක් ලස්සන වි ප්‍රසන්න වී උපදින්නේත් සැප සම්පත් ලබන්නේත් පෙර කරන ලද කුසල කර්මයක් ඉෂ්ට වීම නිසා බව නොදන්නා, මෙනෙහි නොකරන්නා මෝඩයෙකි.. මෝහයෙන් අන්ධ වූවෙකි.
පන්විල සචිනි තිස් අට හැවිරිදි පාසල් ගුරුවරියකි. ඇයට රාත්‍රී කාලයේ නින්ද නොයෑම නිසා මහත් අපහසුතාවකින් පෙළෙයි.
ඇසට නොපෙනෙන යමෙක් ළඟ සිටින බව ඇයට දැනෙයි. ශරීරයේ වේදනා හට ගනී. දැනට මාස හතරක පමණ කාලයක සිට සචිනි හිටි හැටියේ කෑ ගසාගෙන අවදි වෙයි.
වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගියත් ඇයට විශාදය යැයි කියමින් මානසික ප්‍රතිකාර දුන්නද ඉන් කිසිදු සුවයක් හෝ සහනයක් ලැබී නැත. ඇගේ ස්වාමිපුරුෂයා ද ඇගේ අසාමාන්‍යතා විඳ දරාගත නොහැකිව ඇය අත්හැර ගොසිනි.
පසුව ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී ඇයට ඇති රෝග තත්ත්වය පැහැදිලි කළේය.
ප්‍රථම රෝග පරීක්ෂාවේදී ම භූතාත්මයක් දිෂ්ටි ගැන්වී සචිනි කෑ ගසන්නට වූවාය. ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා සති තුනකට පසු නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.
ඒ අනුව ඇය බෝධි පූජා අවසන් කොට සහෝදරයා සමඟ නැවත පැමිණියාය. එදින ගවේෂකවරයා රෝග පරීක්ෂා කරන විට සචිනිට භූතාත්මය ආවිශ්ට විය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ආවිශ්ට වෙලා ඉන්නේ?”
“මම මංගලා”
භූතාත්මය කීවාය.
“කවුද මංගලා කියන්නේ?”
“මේකිගෙ මාමගෙ පුතාගේ නෝනා”
“මෙනවා වෙලාද මැරුණේ?”
“පිළිකාවකින්”
“කොයි කාලෙද?”
“මීට මාස අටකට කලින්”
“කවදාද මේ ශරීරයට ඇතුල් වුණේ?”
“මගේ අවසන් කටයුතුවලට කනත්තට ඇවිත් ඉන්දැද්දී”
“ඔය තරම් සෙනඟක් සිටියදී ඇයි මෙයාගෙම ඇඟට රිංගුවේ?”
ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.
“ඒ වෙලාවේ මට වෙන කාවත් පෙනුණෙ නෑ. මේකිමයි පෙනුණේ.” මංගලාගේ භූතාත්මය මෙසේ ද කීවාය.
“මේකී එක්ක මම තරහින් හිටියේ. මේකී එදත් බොහොම උජාරුවට ඇඳලා රත්තරන් මාල, වළලු, මුදු, කරාබු දාලා හරිම ආඩම්බරයෙන් හිටියෙ.
මට මගේ මහත්තයාවත්, දරුවාවත් වෙන කිසිම කෙනෙක් පෙනුණෙ නෑ. ඉරිසියාවට, තරහට, මේකිවමයි පෙනුණේ.”
“මීට කලිනුත් තරහෙන්ද හිටියේ?”
“ඔව්. මම අසනීපයෙන් ඉන්දැද්දි දවසක් මාව බලන්න ගෙදරට ආවා. එදත් මේකී මඟුල් ගෙදරක යනවා වගෙ සැරසිලා ආවේ. ලෙඩ ඇදේ ඉඳගෙනත් මම මේකිට වෛර කළා.”
භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.
සචිනිට පියවි සිහිය ලබා දුන් ගවේෂකවරයා මේ කතාව ඇත්ත දැයි ඇගෙන් ඇසීය.
“ඔව් මහත්තයා අපේ පවුල්වල ගැහැනු තරගෙට වගේ අඳිනවා.
මංගලා හරිම ලස්සනයි. එයාට වඩා ලස්සන වෙන්න මම ඇඳුම් පැළඳුම්වලින් මගේ ආඩම්බරය පෙන්නුවා.
එතකොට මගේ හිතට ඇත්තටම සතුටක් ආවා. මංගලාට පිළිකාව හැදිලා මංගලා මැරෙන්න දවස් තුනකට කලිනුත් මම එයාව බලන්න ගියා.
මංගලා කතා කළේ ඇස් දෙක වහගෙන. මංගලාගෙ මුහුණ වැහැරිලා වගේ තිබුණා.
මගේ හිත යට ඊර්ෂ්‍යාව එක්ක සතුටකුත් ආවා කියලා මට දැන් මතක් වෙනවා. ඊට දවස් තුනකට පස්සේ මංගලා මැරුණා. මම හොඳට ඇඳලා කනත්තටත් ගියා.”
සචිනි ගවේෂකවරයාට ඇත්තම කීවාය.
ගවේෂකවරයා ඇයට නැවත භූතාත්මය දිෂ්ටි ගැන්වීය.
“මංගලාට මොනවාද වුවමනා?” ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.
“මට මොනවත් එපා. මට ඕනෑ මේකිගෙන් පළිගන්නමයි. මම ලෙඩ ඇඳේ ඉන්දැද්දිත් උජාරුවට ඇඳගෙන ආවා. කනත්තට ආවෙත් එහෙමමයි. මම මේකිව ලෙඩ කරලා මරනවා.”
“ඔබේ සැමියා, ඔබේ පුතා ………?
“මට එපා. ඒ අය ගැන වැඩක් නැහැ. මේකිවමයි මට මතක් වෙන්නේ. මම මේකිගෙ පවුල් ජීවිතෙත් නැති කළා. මිනිහවත් පන්නා ගත්තා.”
“ඒ කොහොමද?”
“මුන් දෙන්නා රෑට කෑම කාලා නින්දට ගියාම මම මේකිගෙ ඇඟට රිංගලා ඒ මිනිහට මේකිව එපා වෙන විදිහට හැසිරුණා. ඒ මිනිහා එපා වෙලා යන්න ගියා.”
“තමුන්ට වුවමනා විදිහටම වැඩ කරන්න දෙන්න බැහැ. තමුන් දැන් මංගලා නෙවෙයි. දැන් ප්‍රේතියක්. වෛරය නිසා පළිගන්න ඉපදුණු ප්‍රේතියක්. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නෑ. මේ අයට කරදර කරල නැවතත් පව් කර ගන්නේ නැතුව ඔය දුක්ඛිත පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න කල්පනා කරන්න.”
“බැහැ…… බැහැ…. මේකි මම ලෙඩ ඇදේ ඉන්දැදිත් මට රිද්දුවා. මේකිගෙන් තව පළිගන්න ඕනෑ.”
පන්සලට හීල් දානයක් පිරිනමා මංගලාට පින් අනුමෝදන් කොට තවත් දවස් දහ හතරක් බෝධි පුජා පවත්වන ලෙස ද බෝධි පූජාව අවසානයේ අවංකවම මංගලා මේ දුගතියෙන් මිදී ඉහළ තලයකට යන්න කියලා පින් අනුමෝදන් කරන ලෙස ද ගවේෂකවරයා සචිනිට උපදෙස් දෙමින් කීවේය.
බෝධි පූජා හතරක් පමණ පවත්වාගෙන යනවිට ඇය අතහැර ගොස් සිටි සැමියා කිසිම කැඳවීමකින් හෝ ආරාධනාවකින් හෝ තොරව ආපසු නිවෙසට පැමිණියේය. ඔවුන් යළිත් “පවුල් ජීවිතය” ආරම්භ කළ අතර ඉතුරු බෝධි පූජාවලට ඔහු ඇය සමඟ ද ගියේය. ඒ බෝධි පූජා අවසන් කොට නැවත ප්‍රතිකාර සඳහා ගවේෂණ මධ්‍යස්ථානයට ද ඔහු ඇය සමඟ පැමිණියේය.
එදින ද භූතාත්මය සචිනිට දිෂ්ටි ගන්වා කතා කළේය.
“දැන් ඉතින් මේ ශරීරය අතහැර ඉවත් වෙලා යන්න ඕනෑ.”
“බැහැ… බැහැ… මේකිගෙන් පළිගත්තා මදි. මම යන්නේ නෑ.”
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවාලන්නට විය.
“එපා…. එපා…. පුච්චන්න එපා…. දැවිල්ලයි දැවිල්ලයි”
ප්‍රේතිය අඬන්නට වූවාය.
“එහෙම නම් ඉවත් වෙලා යන්න.”
“හොඳයි. මම යන්නම්. මහත්තයා පුච්චන නිසා මම යනවා. ආයෙත් ඉඩක් ලැබුණොත් එනවා.”
එසේ කියමින් ප්‍රේතිය ඉවත්ව ගියාය.
ගවේෂකවරයා සචිනිගේ ශක්ති කිරණවලින් ඇගේ ශරීරය සකස් කොට නොවරදවාම උදේ සවස පන්සිල් සමාදන් වී නිවසේ බෞද්ධ පිළිවෙත් ඉටු කරන ලෙසට උපදෙස් දුන්නේය.
“තමන්ගේ ශරීරයේ ඕරා එක (ශරීරයේ ශක්ති වළල්ල) තමන්ගේ අවංක යහපත් ගතිගුණ අනුවයි පවතින්නේ. බොරු අහංකාරකරම් හා අනුන්ට ඊර්ෂ්‍යා කිරිම් නිසා නැවත ශක්ති ශරීරය කඩතොලු වී දුර්වල විය හැකි බව ද ගවේෂකවරයා සචිනිට වටහා දුන්නේය.

Share this...
Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *